සිලෝන් තේ හි අනන්‍යත්වය හා විශිෂ්ටත්වය

ශ්‍රී ලංකාව කලක් “සිලෝන්” නමින් හැඳින්වුණු බ්‍රිතාන්‍ය කිරීටයට අයත් යටත් විජිතයක් විය. නිදහස ලැබීමෙන් අනතුරුව ද දශක දෙකකට ආසන්න කාලයක් එම නාමය රට සමඟ භාවිතයේ පැවතිණි. අද වන විට සශ්‍රීක හරිත පරිසරයකින් හා සරුසාර ස්වභාවික සම්පත්වලින් සමන්විත ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ, ඉන්දියාවේ ගිනිකොන දිග කෙළවරට පහළින් පිහිටි දූපත් රාජ්‍යයකි.

ශ්‍රී ලංකාවේ තේ වගාව හා තේ නිෂ්පාදනය ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. කෙටි කලක් තුළම සිලෝන් තේ ලොව විශිෂ්ටතම තේ අතර ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගත් අතර, තේ අපනයනය එවකට මෙරට ආර්ථිකයේ ප්‍රධාන පදනමක් බවට පත්විය. ලොව පුරා නිවෙස් හා ආහාරපාන ආයතන අතර “සිලෝන්” යන නාමය ක්‍රමයෙන් ප්‍රචලිත වූ අතර, තේ ටින් එකක හෝ ඇසුරුමක “Ceylon” යන නාමය දැකීමම එහි අන්තර්ගත තේ හි උසස් ගුණාත්මකභාවය පිළිබඳ විශ්වාසයක් ඇති කිරීමට ප්‍රමාණවත් විය.

නිදහසෙන් පසු නව වෙළෙඳපොළ විවෘත වීමත් සමඟ තේ නිෂ්පාදනය තවදුරටත් වර්ධනය විය. 1965 වර්ෂයේදී, පළමු වරට ලොව විශාලතම තේ අපනයනකරු බවට සිලෝන් පත්විය.

1972 වර්ෂයේදී රටේ නාමය “ශ්‍රී ලංකාව” ලෙස වෙනස් කිරීමත් සමඟ මෙරට ප්‍රමුඛතම කර්මාන්තය වූ තේ කර්මාන්තය සුවිශේෂී අභියෝගයකට මුහුණ දුන්නේය. “සිලෝන්” යනු රටේ පැරණි නාමය පමණක් නොව, ලොව පුරා පාරිභෝගිකයන් අතර වර්ජිනියා සිට ව්ලැඩිවොස්ටොක් දක්වා දශක ගණනාවක් පුරා හඳුනාගත් ප්‍රබල ජාත්‍යන්තර සන්නාමයක් ද විය.

1930 දශකයේ මුල් භාගයේ සිටම තේ කර්මාන්තය විසින් මෙම සන්නාමය ප්‍රවර්ධනය කිරීම සහ එහි වටිනාකම ගොඩනැගීම සඳහා විශාල පරිශ්‍රමයක් හා ආයෝජනයක් සිදු කර තිබිණි. එවැනි කීර්තිමත් සන්නාමයක් අතහැර දැමීමෙන් කර්මාන්තයට ඇති විය හැකි බලපෑම ඉතා දැඩි විය හැකි අතර, “Sri Lanka Tea” නමින් නව හා පාරිභෝගිකයන්ට නුහුරු සන්නාමයක් යළි ලොව පුරා ස්ථාපිත කිරීම සඳහා දැරිය යුතු වියදම හා කාලය ද අතිවිශාල විය.

යටත් විජිත අතීතයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී නව ආරම්භයක් කළ යුතු බවට ඇතැමුන් විරෝධය පළ කළ ද, තේ කර්මාන්තයේ නායකයන්ගේ දුරදක්නා මැදිහත්වීම මත එවකට බලයේ සිටි සමාජවාදී රජය විසින් රටේ ප්‍රමුඛතම නිෂ්පාදනය සඳහා “සිලෝන්” යන නාමය තවදුරටත් භාවිත කිරීමට අවසර ලබා දෙන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ ලොව පුරා “Ceylon Tea” නමින් අලෙවි කිරීම අඛණ්ඩව සිදු වූ අතර, ලෝකයේ වටිනාම ජාතික සන්නාමයන්ගෙන් එකක් වූ සිලෝන් තේ සන්නාමය සුරක්ෂිත විය.

“සිලෝන් තේ” නාමයේ නීතිමය පිළිගැනීම

“Ceylon Tea” යන නාමයට හිමි නීත්‍යානුකූල සුවිශේෂීත්වය සහ ඒ සමඟ බැඳුණු ප්‍රකට සිංහ ලාංඡනය භාවිත කිරීමට නම්, තේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ වගා කර නිෂ්පාදනය කර තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. එය ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් නියම කර පවත්වාගෙන යනු ලබන දැඩි ගුණාත්මක ප්‍රමිතීන්ට ද අනුකූල විය යුතුය.

එමෙන්ම, ලොව වෙනත් කිසිදු රටකින් ලබාගත් තේ සමඟ එය මිශ්‍ර කිරීම හෝ සංයෝජනය කිරීම කිසිසේත් අවසර නොලැබේ. එබැවින් ශ්‍රී ලංකාවේ තේ 95%ක් අඩංගු මිශ්‍රණයක් වුවද, එය “Ceylon Tea” ලෙස නීත්‍යානුකූලව හඳුන්වා දිය නොහැක.

සිංහ ලාංඡනය සහිත තේ ශ්‍රී ලංකාවේදීම ඇසුරුම් කර තිබිය යුතුය. විදේශීය ආනයනකරුවන්ට හෝ බෙදාහරින්නන්ට තම ඇසුරුම් මත සිංහ ලාංඡනය භාවිත කිරීමට අවසර නොමැත. කෙසේ වෙතත්, එම ඇසුරුමේ අන්තර්ගතය 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ නම්, “Ceylon Tea” යන නාමය නීත්‍යානුකූලව භාවිත කළ හැකිය.

මෙවැනි දැඩි ප්‍රමිතීන් හා නීතිමය ආරක්ෂණයන්හි අරමුණ වන්නේ, ලොව පුරා අලෙවි වන විවිධ සන්නාම යටතේ පවතින දහස් ගණනක් තේ නිෂ්පාදන අතරින් සැබෑ සිලෝන් තේ පැහැදිලිව හඳුනාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීමයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින බොහෝ තේ නිෂ්පාදන විවිධ රටවලින් ලබාගත හැකි තේ වර්ග එකිනෙක මිශ්‍ර කර නිෂ්පාදනය කරනු ලබයි. එවැනි මිශ්‍රණයන්හි විශේෂඥයාගේ දක්ෂතාව මත, තේවල ප්‍රභවය කුමක් වුවද, ස්ථාවර රසයක් හා ගුණාංගයක් පවත්වා ගැනීමට හැකි වේ. එමෙන්ම විශාල පරිමාණයෙන් තේ ලබාගැනීමේ හැකියාව හේතුවෙන් නිෂ්පාදකයන්ට වාණිජමය වාසි ද හිමි වේ.

කෙසේ වෙතත්, එවැනි මිශ්‍ර තේවල ගුණාත්මකභාවය බොහෝවිට එකම ප්‍රභවයකින් ලැබෙන තේවලට සමාන මට්ටමකට ළඟා නොවන අතර, තේ රසවිඳින්නන් අතර ඉහළ අගයක් හිමි පිරිසිදු සිලෝන් තේ හි සුවිශේෂී රසය, සුවඳ, ස්වභාවය හා අනන්‍ය ලක්ෂණ කිසිදු මිශ්‍රණයකින් සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය කළ නොහැකිය.

සිලෝන් තේ හා බැඳුණු සිංහ ලාංඡනය

සිලෝන් තේ සන්නාමය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇති ප්‍රකට සිංහ ලාංඡනය, ශ්‍රී ලංකාවේදී ඇසුරුම් කර අපනයනය කිරීමට නියමිත පිරිසිදු සිලෝන් තේ ඇසුරුම් මත පමණක් භාවිත කෙරෙන සුවිශේෂී සංකේතයකි.

මෙම ලාංඡනයේ අභාෂය  ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික ධජය අලංකාර කරන පුරාණ හෙරල්ඩික් සංකේතයක් වන සිලෝන් සිංහයාගෙනි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ පූර්වගාමී ආයතනයක් වූ තේ ප්‍රචාරක මණ්ඩලය (Tea Propaganda Board) විසින් ප්‍රථම වරට භාවිතයට ගනු ලැබූ මෙම ලාංඡනය, අද වන විට ලොව පුරා රටවල් සියයකට අධික සංඛ්‍යාවක ලියාපදිංචි කළ ජාත්‍යන්තර වෙළෙඳ ලකුණක් බවට පත්ව ඇත.

අද දක්වාම, සිංහ ලාංඡනය සිලෝන් තේ හි උරුමය, ගුණාත්මකභාවය, පිරිසිදුභාවය සහ ජාත්‍යන්තර කීර්තිනාමය ලොවට ප්‍රකාශ කරන සුවිශේෂී සංකේතයක් ලෙස අභිමානයෙන් පවතී

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.