ඕසෝන් ස්ථරය සුරැකීම
ඕසෝන් යනු ඔක්සිජන් පරමාණු තුනකින් සමන්විත විශේෂ වායුවකි. පෘථිවියේ වායුගෝලයේ ඉහළ ස්ථරයක පිහිටි ඕසෝන් ස්ථරය, සූර්යයාගෙන් සහ අභ්‍යාවකාශයෙන් පෘථිවිය වෙත පැමිණෙන පාරජම්බුල (UV) කිරණ ඇතුළු ඉහළ ශක්ති විකිරණවලින් පෘථිවි පෘෂ්ඨය ආරක්ෂා කරන ස්වාභාවික ආවරණයක් ලෙස ක්‍රියා කරයි.
මෙවැනි විකිරණ ජීවී ලෝකයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර, ප්‍රජනන හැකියාවන්ට බලපෑම් කිරීම, දෝෂ සහිත උපත්, පිළිකා සහ වෙනත් රෝග ඇති කිරීම වැනි බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකිය. මිනිසුන් ඇතුළු භූමි ජීවීන්, කෘෂිකාර්මික භෝග මෙන්ම සාගර ජීවී පද්ධති ද මෙවැනි බලපෑම්වලට සංවේදී වේ.
එමෙන්ම, වායුගෝලයේ ඉහළින් පිහිටි ඕසෝන් ස්ථරය පෘථිවියේ කාලගුණික හා දේශගුණික පද්ධති නියාමනය කිරීමේදී ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එබැවින් ඕසෝන් ස්ථරය සුරැකීම යනු පරිසරය පමණක් නොව, පෘථිවියේ සමස්ත ජීව පද්ධතියේ අනාගතය සුරැකීමකි.
ඕසෝන් ස්ථරයට එල්ල වූ තර්ජනය
1970 දශකයේදී පෘථිවි වායුගෝලය පිළිබඳ පර්යේෂණ සිදු කළ විද්‍යාඥයන්, වායුගෝලයේ ඉහළ ස්ථරවල ඕසෝන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව අනාවරණය කළහ. 1985 වන විට ඇන්ටාක්ටිකාවට ඉහළින් පිහිටි විශාල ප්‍රදේශයක ඕසෝන් ස්ථරය බරපතළ ලෙස ක්ෂය වී ඇති බව පැහැදිලි විය.
මෙම ඕසෝන් ක්ෂයවීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගනු ලැබුවේ ක්ලෝරෝෆ්ලූරෝකාබන් (CFC) නම් රසායනික සංයෝගයි. එවකට ශීතකරණ, ශීතකරණ කාමර සහ වායුසමීකරණ පද්ධති ඇතුළු විවිධ උපකරණවල මෙම රසායනික ද්‍රව්‍ය බහුලව භාවිත විය.
වායුගෝලයේ ඉහළ ස්ථර වෙත ගමන් කරන CFC වායු, එහි ඇති ඕසෝන් සමඟ ප්‍රතික්‍රියා කරමින් ඕසෝන් අණු විනාශ කිරීමට හේතු වේ.
එහෙත් ඕසෝන් ස්ථරයට තර්ජනයක් වූයේ CFC පමණක් නොවේ. මීතයිල් බ්රෝමයිඩ් (Methyl Bromide) ද ඕසෝන් ක්ෂය කරන තවත් වැදගත් රසායනික ද්‍රව්‍යක් විය. පස සහ විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන ධූමකරණය සඳහා භාවිත කළ මෙම පළිබෝධනාශකය, එම කාලයේ ශ්‍රී ලංකා තේ කර්මාන්තය තුළ ද පුළුල් ලෙස භාවිත විය.
තේ වතු, ගබඩා, ප්‍රවාහනය සඳහා භාවිත කළ ස්ථාන සහ නැව් ඇතුළු තේ ගබඩා කර හෝ ප්‍රවාහනය කරනු ලැබූ විවිධ ස්ථානවල මීතයිල් බ්‍රෝමයිඩ් භාවිතයට ගැනිණි. එහි පාරිසරික බලපෑම පිළිබඳ අවබෝධයක් එවකට නොතිබුණද, ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ විශාලත්වය හා භූගෝලීය ව්‍යාප්තිය සැලකිල්ලට ගත් විට, එහි භාවිතය ඕසෝන් ස්ථරයට සැලකිය යුතු තර්ජනයක් විය.
මොන්ට්රියල් ප්‍රොටෝකෝලය සහ ඉන් ඔබ්බට
විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද අනතුරු ඇඟවීම් හමුවේ, ලොව රටවල් 1987 වර්ෂයේදී කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේදී එක්රැස් වී ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළහ.
එහි ප්‍රතිඵලයක් ලෙස මොන්ට්රියල් ප්‍රොටෝකෝලය බිහි වූ අතර, ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 191ක් එයට එක්විය.
මෙම ජාත්‍යන්තර එකඟතාව යටතේ ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ මීතයිල් බ්‍රෝමයිඩ් භාවිතය ක්‍රමානුකුලව සීමා කර අවසානයේ සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.
තේ කර්මාන්තය ඇතුළු විවිධ අංශ විසින් ගනු ලැබූ කඩිනම් හා ඵලදායී පියවරයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ඕසෝන් ස්ථරය ආරක්ෂා කිරීමේ ලොව ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඇගයීමට ලක් විය. මෙම සුවිශේෂී දායකත්වය අගයමින්, 2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවට මොන්ට්රියල් ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කරන්නන් සඳහා වූ සම්මානය (Montreal Protocol Implementers Award) පිරිනමන ලදී.
ඔබටත් පරිසරයටත් නැවුම් බවක්
අද වන විට ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන සියලුම තේ ඕසෝන් හිතකාමී තේ ලෙස හඳුන්වාදිය හැකි සුවිශේෂී පාරිසරික ප්‍රමිතියක් අත්කරගෙන ඇත. තේ නිෂ්පාදනයේදී ඕසෝන් ස්ථරයට හානි කරන ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම ශ්‍රී ලංකා තේ කර්මාන්තයේ පාරිසරික වගකීම සහ කැපවීම පිළිබිඹු කරයි.
අපනයන ඇසුරුම්කරණය හා නාවික ප්‍රවාහනය වැනි අනෙකුත් යෙදුම් සඳහා ද මීතයිල් බ්‍රෝමයිඩ් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනු ලැබීය.
2011 මැයි මාසයේ සිට, සියලුම සිලෝන් තේ සඳහා “Ozone Friendly Pure Ceylon Tea” ලාංඡනය භාවිත කිරීමට හිමිකම ලැබී ඇති අතර, එම ලාංඡනය මඟින් ඕසෝන් ස්ථරය ක්ෂය කරන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරන ලද පිරිසිදු සිලෝන් තේ බවට පාරිසරික සහතිකයක් සපයයි.
එබැවින්, ඔබ සිලෝන් තේ කෝප්පයක් රසවිඳින සෑම අවස්ථාවකම, ඔබේ සිරුරට හා මනසට නැවුම් බවක් ලබාගැනීම පමණක් නොව, පෘථිවියේ සියලු ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය වූ ස්වාභාවික පාරිසරික සම්පතක් සුරැකීමට දායක වන බව සිහිපත් කරන්න.
සිලෝන් තේ — ඔබට නැවුම් බවක්, පෘථිවියට හුස්මක්.



