උඩ පුස්සැල්ලාව

මහනුවර හා ඌව තේ කලාප අතර, කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල පිහිටි උඩ පූස්සැල්ලාව, ප්‍රමාණයෙන් කුඩා හා ජනගහනය අඩු වූ, ප්‍රධාන වශයෙන් තේ වගාවට කැප වූ සුවිශේෂී කලාපයකි.

මෙහි විශාල නගර නොමැති අතර, වගාවෙන් තොර භූමි ප්‍රදේශයක සැලකිය යුතු කොටසක් හක්ගල දැඩි ස්වාභාවික රක්ෂිතය විසින් ආවරණය කරයි. හක්ගල කන්ද ආශ්‍රිත මෙම රක්ෂිතය මුහුදු මට්ටමේ සිට මීටර් 2,000ක් (අඩි 6,400ක්) පමණ උසකට විහිදෙයි.

දුර්ලභ වනජීවීන් හා විදේශීය ශාක විශේෂ සඳහා ප්‍රසිද්ධ මෙම ප්‍රදේශයේ වනාන්තරගත කඳුකරය තවමත් දිවියන්ගේ වාසස්ථානයකි. ඇතැම් අවස්ථාවල ඔවුන් තේ වතු ආශ්‍රිතවද දැකගත හැකිය.

උඩ පූස්සැල්ලාව තේ කලාපයට මතුරට, රාගල සහ හාල්ග්‍රන්ඔය උපකලාප ඇතුළත් වේ.

උඩ පූස්සැල්ලාව තේහි විශේෂත්වය පිලිබදව තේ රස පරීක්ෂකවරුන්ගේ අර්ථදැක්වීම

උඩ පූස්සැල්ලාව – “සියුම් හා ප්‍රසන්න රසයෙන් පිරිපුන්”

නුවරඑළියට ආසන්නව පිහිටීම හේතුවෙන් උඩ පූස්සැල්ලාව තේ බොහෝවිට නුවරඑළිය තේ සමඟ සසඳනු ලැබේ. එහෙත්, කෝප්පය තුළ එය සාපේක්ෂව වඩාත් ගැඹුරු පැහැයක්, රෝස පැහැයට හුරු වර්ණයක් සහ ප්‍රබල රසයක් පෙන්නුම් කරයි. එහි විශේෂත්වය වන්නේ සියුම් හා ප්‍රසන්න රසයකි.

වසර අවසානයේ පවතින ශීත දේශගුණය හේතුවෙන්, මධ්‍යම පරිපුර්ණ බවකින් හා සියුම් රස ස්වභාවයකින් යුත් මෙම තේහි සුවඳ පරාසයට මඳ රෝස සුවඳක්ද එක්වන බව සැලකේ. අධික වර්ෂාපතනය පවතින කාලවලදී ඊටත් වඩා ගැඹුරු පැහැයකින් හා ප්‍රබල රසයකින් යුත් තේ නිෂ්පාදනය වේ.

උඩ පූස්සැල්ලාව හා තේහි ඉතිහාසය

උඩ පූස්සැල්ලාවේ භූගෝලීය පිහිටීම හේතුවෙන්, කඳුකරයේ බටහිර බෑවුම්වල තේ වතු ප්‍රදේශවලට වඩා වෙනස් දේශගුණික ස්වභාවයක් මෙහි දක්නට ලැබේ.

ඌව කලාපයට සමානව, උඩ පූස්සැල්ලාවද ප්‍රධාන වශයෙන් ඊසානදිග මෝසම් පද්ධතියේ බලපෑමට ලක්වන අතර, නොවැම්බර් සිට ජනවාරි දක්වා කඳුකරයේ නැගෙනහිර බෑවුම් වෙත ප්‍රධාන වර්ෂාපතනය ලැබේ.

ප්‍රදේශයේ දේශගුණය සාමාන්‍යයෙන් තෙත් හා මීදුමෙන් පිරි ස්වභාවයක් ගනී. හක්ගල ප්‍රදේශයට වසරකට සාමාන්‍යයෙන් දින 211ක් පමණ වර්ෂාපතනය ලැබේ. එමෙන්ම, ජූනි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් සුළංවල බලපෑමද මෙම ප්‍රදේශයට ලැබේ.

කඳුකරයේ බටහිර බෑවුම්වල වර්ෂාව වැස්සවීමෙන් අනතුරුව මධ්‍යම ජල බෙදුම් රේඛාව හරහා නැගෙනහිර දෙසට ගමන් කරන විට, එම සුළං සැලකිය යුතු ලෙස වියළි ස්වභාවයක් ගනී. මෙම සුවිශේෂී දේශගුණික සංයෝජනය උඩ පූස්සැල්ලාව තේහි අනන්‍ය රස හා ගුණාංග නිර්මාණය කිරීමට දායක වේ.

ඒ අනුව, උඩ පූස්සැල්ලාව තේ වතු එක් ගුණාත්මක තේ ඍතුවකට පමණක් නොව, බටහිර හා නැගෙනහිර යන දෙපසින්ම ලැබෙන ගුණාත්මක ඍතු දෙකටම ප්‍රතිචාර දක්වයි. මෙය විශේෂයෙන් නුවරඑළියට මායිම්ව පිහිටි කලාපයේ ඉහළ කොටසේ තේවල පැහැදිලිව දැකගත හැකිය.

කෙසේ වෙතත්, නුවරඑළියට වඩා තරමක් පහත් භූමියක පිහිටි උඩ පූස්සැල්ලාවේ තේ වගා කරන උස සාමාන්‍යයෙන් මීටර් 950 සිට 1,600 දක්වා (අඩි 3,000–5,000) පරාසයක පවතී.

මෙම විවිධ දේශගුණික බලපෑම්, කඳුකර භූමියේ ස්වභාවය හා වගා උස සමඟ එක්ව, උඩ පූස්සැල්ලාව තේහි සුවිශේෂී රසෙහි අනන්‍යතාවය ගොඩනඟයි.

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.