ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හැඳින්වීමට පැරණි සිංහලයන් භාවිත කළ “රුහුණ” යන ඓතිහාසික නාමය උරුම කරගත් රුහුණු තේ කලාපය, වර්තමානයේ ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ පිහිටා ඇත.
මෙහි තේ වගාව ව්‍යාප්තව ඇත්තේ ප්‍රධාන වශයෙන් දකුණු පළාතේ බටහිර ප්‍රදේශය පුරා විහිදුණු වෙරළබඩ තැන්න සහ අභ්‍යන්තරයට යන විට ක්‍රමයෙන් ඉහළ යන පහත් කඳුකර භූමි ප්‍රදේශවලය. නිරිතදිග මෝසම් වර්ෂාවෙන් පෝෂණය වන තෙත් කලාපයට අයත් මෙම භූමිය තේ වගාව සඳහා සුවිශේෂී ස්වභාවික පරිසරයක් සපයයි.
නැගෙනහිර දෙසට ගමන් කරන විට භූ දර්ශනය ක්‍රමයෙන් වෙනස් වන අතර, ප්‍රධාන වශයෙන් ලඳු කැලෑ, තෘණ භූමි සහ වෙරළබඩ ලවණ වගුරු බිම් දැකගත හැකිය. තවදුරටත් නැගෙනහිරට යන විට මෙම පරිසරය වඩාත් වනාන්තරමය හා මිනිස් වාසයෙන් තොර ස්වභාවයකට පත්වේ. මෙම ප්‍රදේශයේ වැදගත් ස්වභාවික රක්ෂිත කිහිපයක් පිහිටා ඇති අතර, ඒ අතර ශ්‍රී ලාංකිකයන් අතර යාල නමින් වඩාත් ප්‍රකට රුහුණු ජාතික උද්‍යානය ද වේ. එහි උතුරු ප්‍රදේශය යාබද ඌව පළාත දක්වා විහිදෙයි.
රුහුණු වනාන්තර, අලි, දිවියන්, වලසුන්, වල් ඌරන් සහ විවිධ මුවන් ඇතුළු වන සතුන් රැසකට ස්වභාවික වාසස්ථානයක් සපයයි. එමෙන්ම, පක්ෂි නිරීක්ෂකයන්ට ද මෙය සුවිශේෂී පාරාදීසයකි. දේශීය මෙන්ම සංක්‍රමණික පක්ෂි විශේෂ සිය ගණනක් මෙහි දක්නට ලැබෙන අතර, බුන්දල වෙරළබඩ රක්ෂිතයේ ලවණ තැන් සහ වගුරු බිම් ආශ්‍රිතව අභිජනන සමය ගත කරන දැවැන්ත ෆ්ලැමින්ගෝ පක්ෂීන් ද ඒ අතර වේ.
රුහුණු තේහි විශේෂත්වය පිලිබදව තේ රස පරීක්ෂකවරුන්ගේ අර්ථදැක්වීම
රුහුණු – “අද්විතීය සුවිශේෂීත්වයකින් පිරිපුන්”
රුහුණු තේ “පහතරට තේ” (Low-grown Tea) ලෙස වර්ගීකරණය කෙරේ. මුහුදු මට්ටමේ සිට මීටර් 600 (අඩි 2,000) නොඉක්මවන උසක පිහිටි වතු තුළ වගා කෙරෙන මෙම තේ කලාපය, වෙරළබඩ තැන්වල සිට සිංහරාජ වැසි වනාන්තරයේ දකුණු සීමාව දක්වා විහිදුණු විවිධ උපකලාප රැසකින් සමන්විත වේ.
පහතරට උස හා එම ප්‍රදේශයේ පසෙහි සුවිශේෂී ස්වභාවය එක්ව තේ පඳුරු වේගයෙන් වර්ධනය වීමට හේතු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දිගු, අලංකාර පත්‍ර සහිත තේ දලු වර්ධනය වේ.
පූර්ණ රසයෙන් යුතු කළු තේ රුහුණු තේහි සුවිශේෂී අනන්‍යතාවයකි. රුහුණු තේ කර්මාන්තශාලා මඟින් විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් යුත් තේ පත්‍ර වර්ග නිෂ්පාදනය කෙරෙන අතර, ඒ අතර විශේෂයෙන් අගය කෙරෙන “ටිප්ස්” (Tips) ද වේ.
රුහුණු, එහි ඉතිහාසය හා තේ
රුහුණු යනු ඉතිහාසය, පුරාවෘත්තය හා සංස්කෘතික උරුමයන්ගෙන් පොහොසත් භූමියකි. පුරාණ වංශකථාවල නිදහස වෙනුවෙන් සටන් කළ වීර නරපතියකු ලෙස සැලකෙන දුටුගැමුණු රජතුමා සිය තරුණ කාලය ගත කළේ රුහුණු ප්‍රදේශයේ බව සඳහන් වේ. බලහත්කාරී පාලකයන්ට හා විදේශීය ආක්‍රමණිකයන්ට එරෙහිව නැගී සිටීමේ දිගු ඉතිහාසයක් ද මෙම භූමිය සතුය.
අතීතයේ වර්තමානයට වඩා ඝන ජනාවාසයක් පැවති රුහුණු ප්‍රදේශයෙන් වසර පන්සියයක සිට වසර එක්දහස් පන්සියයක් දක්වා පැරණි සිංහල ශිෂ්ටාචාරයේ නටබුන් හමුවී ඇත. අද ජනශූන්‍යව පවතින වනාන්තර ප්‍රදේශ පුරා ද සියවස් ගණනාවකට පෙර ඉදිකළ වාරිමාර්ග පද්ධතිවල නටබුන් දැකගත හැකිය.
මුල් යුරෝපීය ගවේෂකයන් රුහුණු ප්‍රදේශයට පැමිණි සමයේ, නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ හැරුණු විට අභ්‍යන්තර ප්‍රදේශ බොහෝ දුරට විරල ජනාවාස සහිත විය. සියවස් ගණනාවක් පුරා පැවති යුද්ධ හා වසංගත හේතුවෙන් අභ්‍යන්තර ජනගහනය අඩුවී තිබූ අතර, විශාල භූමි ප්‍රමාණයක් නැවතත් ස්වභාවික වනාන්තර බවට පත්ව තිබුණි.
යටත්විජිත සමයේදී ද මෙම තත්ත්වයේ විශාල වෙනසක් සිදු නොවූ අතර, නිදහස ලැබීමෙන් පසුවත් රුහුණු ප්‍රදේශය සාපේක්ෂව විරල ජනාවාස සහිත, ආර්ථික වශයෙන් පසුගාමී ප්‍රදේශයක් ලෙස පැවතුණි. එහි ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් රැකියා සහ ආර්ථික අවස්ථා සොයා කොළඹ හා බස්නාහිර පළාත වෙත සංක්‍රමණය වූහ.
කෙසේ වෙතත්, මෑත දශකවලදී රුහුණු ප්‍රදේශයේ සංවර්ධනය හා ආර්ථික පුනර්ජීවනය කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී ඇත. විශේෂයෙන් හම්බන්තොට වෙරළබඩ නගරය හා පුරාණ වරාය නගරයක් වන ගාල්ල ආශ්‍රිතව සංවර්ධන කටයුතු වේගවත් වී තිබේ.
යටත්විජිත යුගයේදී ගාල්ලට ඉතා වැදගත් වාණිජ හා වරායමය ස්ථානයක් හිමිව තිබුණි. එහෙත් 1885 දී කොළඹ වරායේ ආරක්ෂිත නැංගුරම් පහසුකම් සංවර්ධනය කිරීමෙන් පසු ගාල්ලේ වරාය වැදගත්කම ක්‍රමයෙන් අඩු විය. මාර්ග, දුම්රිය හා විදුලි පණිවුඩ සේවා වැනි පහසුකම්වලින් හොඳින් සම්බන්ධ වී තිබූ ගාල්ල, විසිවන සියවස තුළදී ක්‍රමයෙන් නිහඬ නගරයක් බවට පත්විය.
රුහුණේ තේ වගාවේ ආරම්භය
රුහුණු ප්‍රදේශය තේ වගාවට එක් වූයේ අනෙකුත් ප්‍රධාන තේ කලාපවලට සාපේක්ෂව පසුවය. 1900 පමණ වන විට, මධ්‍යම කඳුකරයේ පාමුල ප්‍රදේශවල මුල්ම තේ වතු ආරම්භ විය. ගාල්ල හා මාතර නගරවලට සමීපව පිහිටීමත්, එම නගර මාර්ග හා දුම්රිය මාර්ග ඔස්සේ අගනුවර සමඟ සම්බන්ධ වී තිබීමත්, මෙම ප්‍රදේශයේ තේ කර්මාන්තය වර්ධනය වීමට පහසුකම් සැලසීය.
එකල වතු කර්මාන්තයේ බහුතරය බ්‍රිතාන්‍යයන්ගේ හිමිකාරීත්වය හා පාලනය යටතේ පැවති නමුත්, රුහුණු ප්‍රදේශය දේශීය වතු ව්‍යවසායකයන්ගේ මුල් බලකොටුවක් බවට පත්විය. මෙම පිරිසට තේ වගාකරුවන් පමණක් නොව, රබර් සහ අනෙකුත් වගාවන්හි නිරත වූ දේශීය වතු හිමිකරුවන්ද ඇතුළත් විය.
1970 දශකයේ මුල් භාගයේදී මැද පෙරදිග කලාපයේ සිදුවූ දේශපාලනික හා ආර්ථික වෙනස්කම් හේතුවෙන් ශක්තිමත් හා පූර්ණ රසයෙන් යුතු කළු තේ සඳහා වූ වෙළෙඳපොළ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියේය. රුහුණු තේහි සුවිශේෂී ලක්ෂණයක් වූ මෙම ශක්තිමත් රස ස්වභාවය නිසා එම නව වෙළෙඳපොළ අවස්ථාව රුහුණු තේ කර්මාන්තයට විශාල වර්ධන අවකාශයක් උදා කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ තේ කර්මාන්තයේ වර්ධනයේ බලපෑම අද දක්වාම දැකගත හැකිය. වර්තමානයේ රුහුණු, සබරගමුව සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ නිෂ්පාදන කලාපයක් ලෙස ස්ථාපිත වී ඇති අතර, තමන්ටම අනන්‍ය වූ රස, සුවඳ හා ස්වභාවයෙන් යුතු තේ නිෂ්පාදනය කරයි.
රුහුණු සහ සබරගමුව යන තේ කලාප දෙක එක්ව ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් ආසන්න වශයෙන් 60%කට දායක වේ.
රුහුණු තේ දකුණු භූමියේ ඉතිහාසය, ස්වභාවය හා සුවිශේෂී රසය එක් කළ සිලෝන් තේ උරුමයකි.



