“මම දර්ශනීය ස්ථාන පිළිබඳව වැඩි වශයෙන් ලියනවා යැයි ඔබ සිතනු ඇතැයි මට සිතේ. එහෙත්, ඔබට මේ දසුන් ඔබේම දෑසින් දැකගත හැකි නම්, මා එසේ ලියන්නේ මන්දැයි ඔබට අවබෝධ වනු ඇත.”
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ පුරෝගාමියා වූ ජේම්ස් ටේලර් ස්කොට්ලන්තයේ සිය නිවස වෙත යැවූ ලිපියක මෙසේ සඳහන් කළේය. ඔහු එසේ විස්තර කළේ, තමන්ගේ ලුල්කඳුර වතුයාය හා ඒ අවට වූ හේවාහැට සුන්දර ගැමි පරිසරය පුරා විහිදුණු මනස්කාන්ත දසුන් පිළිබඳවය.
1851 වසරේදී මෙම ප්‍රදේශයට පැමිණි පසු, තේ වගාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඩාජිලිං වෙත ගිය එක් අවස්ථාවක් හැරුණු විට, ඔහු නැවත එම ප්‍රදේශයෙන් දුරස්ව ගියේ නැත. එතරම්ම ඔහුගේ හදවත මහනුවර කඳුකරය හා බැඳී තිබිණි. ජීවිතයේ අවසන් කාලය දක්වාම ඔහු මෙම කඳුකරය තම නිවහන කරගත් අතර, මියගිය පසුද මෙම භූමිය මතම ඔහුගේ අවසන් නවාතැන සනිටුහන් විය.
එබැවින්, මහනුවර යනු සිලෝන් තේහි කතාව ආරම්භ වූ ඓතිහාසික තේ වගා කලාපයයි.
මහනුවර තේහි විශේෂත්වය පිලිබදව තේ රස පරීක්ෂකවරුන්ගේ අර්ථදැක්වීම
මහනුවර – “ගැඹුරු හා පරිපූර්ණ රසැති”
මහනුවර කලාපයේ නිෂ්පාදනය වන තේ “මධ්‍යම උසින් වගා කරන තේ” (Mid-Grown) ලෙස හැඳින්වේ. එයට හේතුව මෙම ප්‍රදේශයේ තේ වගාව මුහුදු මට්ටමේ සිට මීටර් 1,300ක් (අඩි 4,000ක්) පමණ දක්වා පමණක් විහිදීමයි.
වගා කරන උස, භූගෝලීය පිහිටීම සහ මෝසම් සුළංවලින් වගාබිම් ලබන ආරක්ෂාව අනුව මහනුවර තේහි රස හා සුවඳෙහි විවිධත්වයක් දක්නට ලැබේ. එහෙත්, සමස්තයක් ලෙස ගත් කල, මෙම කලාපයේ තේ විශේෂ රසවත් බවකින් යුක්තය.
මහනුවර තේවල දීප්තිමත් පැහැයක් හා තඹ පැහැයට හුරු වර්ණයක් ලබාදෙන අතර, ප්‍රබල රසයක් සහ පූර්ණ බවක් එනම් තේ කෝප්පය තුළ පැහැදිලිව දැනෙන ගැඹුරු හා සම්පූර්ණ රස ස්වභාවයක් පෙන්නුම් කරයි.
සාමාන්‍යයෙන් මහනුවර තේ දියරයේ පැහැය සාපේක්ෂව දීප්තිමත් වන අතර, එහි තඹ පැහැති වර්ණයද කැපී පෙනේ. කෝප්පය තුළ වර්ණයෙන් තරමක් සැහැල්ලු වුවද, එය ප්‍රබල රසයක් ගෙනදේ. කෙසේ වෙතත්, මුහුදු මට්ටමේ සිට අඩු උස් බිම් වල වගා කරන සබරගමුව හා රුහුණු කලාපීය තේවල දක්නට ලැබෙන තරම් තද කහටක් එහි නොමැත.
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ තේ වතු පිහිටා ඇත්තේ කඳුකරයේ බටහිර බෑවුම්වලය. එබැවින් මහනුවර තේහි රස හා ගුණාංග “බටහිර බෑවුම්වල ගුණාත්මක තේ වාරය” මගින් සැලකිය යුතු ලෙස පෝෂණය වේ. වසරේ පළමු කාර්තුවේදී ප්‍රදේශය පුරා සිසිල් හා වියළි කාලගුණික තත්ත්වයන් ස්ථාපිත වන මෙම සමය, මහනුවර තේහි ඉහළම ගුණාත්මකභාවය වර්ධනය වන ප්‍රධාන කාලපරිච්ඡේදයකි.
මහනුවර හා තේහි ඉතිහාසය
සිංහල රජවරුන්ගේ අවසන් රාජධානිය වූ මහනුවර, අතීතයේදී විදේශීය ආක්‍රමණිකයන්ට පහසුවෙන් ළඟා විය නොහැකි, දැඩි කඳුකර මාර්ගවලින් වටවූ බලකොටුවක් බඳු විය. මාර්ග නොතිබූ සමයක ඝන වනාන්තරවලින් වැසී තිබූ මෙම කඳුකරය වෙත ළඟාවීම ආක්‍රමණිකයන්ට අතිශය දුෂ්කර විය.
මෙම ස්වාභාවික ආරක්ෂාව හේතුවෙන් මහනුවර රාජධානිය වසර තුන්සියයකට අධික කාලයක් විදේශීය ආක්‍රමණවලට එරෙහිව සිය ස්වාධීනත්වය රැකගැනීමට සමත් විය.
මහනුවර විහාරස්ථාන, භික්ෂු ආරාම හා පුස්තකාල, කලා ශිල්ප, හස්ත කර්මාන්ත සහ ජන සම්ප්‍රදායන් තුළින් සිංහල ජනතාවගේ සංස්කෘතික උරුමය පරම්පරාවෙන් පරම්පරාවට සුරැකීය. එය බුදු දහමේද ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් විය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රථම වරට ලේඛනගත කළේ මාතලේ අලුවිහාරයේදීය.
එසේම, බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුව ලෙස ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී දළදා වහන්සේ රන් කරඬුවක තැන්පත් කර මහනුවර රාජධානියේ සුරැකුණු අතර, එම දළදා වහන්සේ සතු රාජ්‍යත්වයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ විශ්වාසයද මහනුවර රාජධානියේ ඉතිහාසය හා දැඩි ලෙස බැඳී තිබිණි.
1815දී මහනුවර රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට නතුවූ පසුද, ශ්‍රී දළදා වහන්සේට අදාළ ආගමික චාරිත්‍ර හා සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කළහ. ඒ අතරින් අද දක්වාම අඛණ්ඩව පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර විශේෂ ස්ථානයක් ගනී.
මහනුවර රාජධානියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාවේ කඳුකරයේ විශාල ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට විවෘත විය. රාජධානියේ අගනුවර වූ මහනුවරම මෙම කලාපයේ ප්‍රධාන නගරය බවට පත්විය.
කෝපි වගා ව්‍යාපාරය ආරම්භ වූ විට, පළමු වතු මහනුවරට ආසන්නව පිහිටුවීම ස්වාභාවික සිදුවීමක් විය. එම කාලයේ පේරාදෙණියේ ස්ථාපිත කර තිබූ උද්භිද උද්‍යානය හා පර්යේෂණ මධ්‍යස්ථානයද කෝපි හා පසුව තේ වගාව පිළිබඳ දැනුම වර්ධනය කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළේය.
තේ වගාව ආරම්භ වූ අවධියේද මෙම ප්‍රවණතාවය එලෙසම පැවතිණි. ලුල්කඳුර, ශ්‍රී ලංකාවේ මුල්කාලීන තේ වතු අතරින් එකක් වුවද, එය මුලින් කෝපි වගාව සඳහා භාවිත කළ වතුයායක් විය.
මහනුවර තේ වගා කලාපය
මහනුවර තේ වගා කලාපය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ කොටසකි. මහනුවර නගරය සාපේක්ෂව පහත් නිම්න ප්‍රදේශයක පිහිටා තිබුණද, තේ වතු අවට කඳුකරය පුරා විසිරී ඇත.
නිලම්බේ, හන්තාන, පූස්සැල්ලාව, ගම්පොළ සහ, විශේෂයෙන්ම, හේවාහැට වැනි ප්‍රදේශවල තේ වතු දැකගත හැකිය.
මධ්‍යම කඳුකරයේ දකුණු ප්‍රදේශවල පිහිටි ඇතැම් තේ වතු තරම් ඉහළ උසකින් මහනුවර කලාපයේ තේ වගා නොකෙරේ. එබැවින් මහනුවර තේ “මධ්‍යම උසින් වගා කරන තේ” (Mid-Grown Tea) ලෙස හඳුන්වනු ලබන අතර, වගා උස සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 650ත් 1,300ත් (අඩි 2,000–4,000) අතර පවතී.
ප්‍රදේශයේ දේශගුණය ප්‍රධාන වශයෙන් නිරිතදිග මෝසම් පද්ධතියේ බලපෑමට ලක්වේ. කඳුකර මාර්ග ඔස්සේ මෝසම් සුළං ප්‍රබල ලෙස හමා ආවත්, මහනුවර නගරයම සාපේක්ෂව ආරක්ෂිත ස්ථානයක පිහිටා ඇත.
එමෙන්ම, බොහෝ තේ වතු සුළං බලය සාපේක්ෂව අඩු නිම්න හා ආරක්ෂිත බෑවුම්වල පිහිටා ඇති බැවින්, එම වතු වලින් නිෂ්පාදනය වන තේහි රසය හා වර්ණය කලාපයේ අනෙකුත් ප්‍රදේශවල තේවලට වඩා වඩාත් ප්‍රබල හා ගැඹුරු ස්වභාවයක් ගනී.
මෙසේ, මහනුවර කඳුකරයේ භූගෝලීය පිහිටීම, උස, දේශගුණය සහ වසර ගණනාවක් පුරා වර්ධනය වූ තේ වගා සම්ප්‍රදාය එකිනෙක සමඟ බැඳී, සිලෝන් තේහි මුල් උරුමය හා සුවිශේෂී රස අනන්‍යතාවය නිර්මාණය කර ඇත.



