නුවරඑළිය

ශ්‍රී ලංකාවේ තේ වගා කලාප අතරින් ලොව පුරා වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ කලාපයක් වන නුවරඑළිය, එහි මනරම් කදු පන්ති වලින් සමන්විත භූමිය සහ මුහුදු මට්ටමට සාපේක්ෂව ඉහලින්ම පිහිටීම හේතුවෙන් සුවිශේෂී ස්ථානයක් ගනී.

මෙහි වාතය සිසිල් හා ප්‍රබෝධමත් වන අතර, සුළඟට යුකැලිප්ටස් හා වල් මින්ට් ශාකවල සියුම් සුවඳ මුසුවී ඇත. පෙබරවාරි සිට අප්‍රේල් දක්වා පවතින වියළි සමය හැරුණු විට වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමක පවතී. රාත්‍රී කාලයේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහළ යන අතර ඇතැම් අවස්ථාවල හිම පවා ඇති වේ.

මෙම සුවිශේෂී දේශගුණය, කලාපයටම අනන්‍ය වූ කඳුකර භූමි ස්වභාවය සමඟ එක්ව, ලොව විශිෂ්ටතම තේ අතරට සැලකෙන අද්විතීය තේ මෙම කලාපය තුල නිෂ්පාදනය කරයි.

නුවරඑළිය තේහි විශේෂත්වය පිලිබදව තේ රස පරීක්ෂකවරුන්ගේ අර්ථදැක්වීම

නුවරඑළිය – “සියුම් සුවඳින් පිරිපුන්”

නුවරඑළියේ ඉහළ උන්නතාංශය හා සාපේක්ෂව අඩු උෂ්ණත්වය එක්ව, ඉතා සියුම් හා ප්‍රසන්න සුවඳකින් යුත් තේ නිර්මාණය කරයි.

සිලෝන් තේ වර්ග අතරින් පැහැයෙන් වඩාත්ම අඩු තේ ලෙස නුවරඑළිය තේ හඳුනාගත හැකි අතර, එය රන්වන් පැහැයක් සහ සියුම් සුවඳකින් යුත් නවීන හා ප්‍රසන්න රස ස්වභාවයක් දරයි.

තේ රසවිඳින්නන් අතර විශේෂයෙන් ඉල්ලුමක් ඇති තේ ශ්‍රේණි ලෙස Orange Pekoe (OP) සහ Broken Orange Pekoe (BOP) දැක්විය හැකිය.

නුවරඑළිය හා තේහි ඉතිහාසය

ඓතිහාසික වශයෙන් නුවරඑළිය ශ්‍රී ලංකාවේ සාපේක්ෂව නව නගරයකි. එහි නම ලැබී ඇති නුවරඑළිය නගරය මුහුදු මට්ටමේ සිට මීටර් 1,868ක් (අඩි 6,128ක්) පමණ ඉහළින් පිහිටි සානුවක් මත පිහිටා ඇති අතර, ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල එය ආවරණය කරමින් නැගී සිටී.

අතීතයේදී ඝන වනාන්තරවලින් වැසුණු දැඩි කඳු බෑවුම් හේතුවෙන් මෙම ප්‍රදේශයට ළඟාවීම අතිශය දුෂ්කර විය. 1818දී ඉංග්‍රීසි ගවේෂකයෙකු විසින් සොයාගන්නා විට මෙම මනස්කාන්ත සානුව ප්‍රායෝගිකව ජනශූන්‍යව පැවතිණි.

එහි සුන්දරත්වයෙන් හා සෞම්‍ය දේශගුණයෙන් ආකර්ෂණය වූ එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් එඩ්වඩ් බාන්ස්, කොළඹ උණුසුම් හා සෞඛ්‍යයට අහිතකර කාලගුණයෙන් මිදී රාජ්‍ය නිලධාරීන් හා සමාජයේ ප්‍රභූන්ට විවේක ගත හැකි කඳුකර නගරයක් ලෙස නුවරඑළිය සංවර්ධනය කිරීමට කටයුතු කළේය.

ඔහුම එහි නිවසක් ඉදිකර, සෑම වසරකම මාර්තු හා අප්‍රේල් මාසවල එහි වාසය කිරීමෙන් මෙම අදහස ක්‍රියාවට නැංවීය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට “Newralia” ලෙස හැඳින්වූ නුවරඑළිය, වසරේ සති කිහිපයක් සඳහා යටත් විජිත ශ්‍රී ලංකාවේ ගිම්හාන අගනුවරක් බඳු විය.

1840 දශකයේදී කෝපි වගාවේ වේගවත් ව්‍යාප්තියත් සමඟ යුරෝපීයයන් පවා සම්පූර්ණයෙන් ගවේෂණය කර නොතිබූ කඳුකර ප්‍රදේශ විශාල වශයෙන් වතු බවට පරිවර්තනය විය. මහනුවරට දකුණින් හා නැගෙනහිරින් පිහිටි දුරස්ථ වතු වෙත පැමිණි පුරෝගාමී වතු හිමියන්ට නුවරඑළිය සෞම්‍ය දේශගුණයකින් යුත්, පහසුවෙන් එක්රැස් විය හැකි විවේක ස්ථානයක් බවට පත්විය.

එම අවධියේ නුවරඑළියේ සමාජ ජීවිතය බොහෝ දුරට වතු හිමියන්ගේ අවශ්‍යතා වටා ගොඩනැගුණු අතර, සමාජ ශාලා, විනෝදාස්වාද ස්ථාන, ක්‍රීඩා තරඟ සහ දඩයම් කටයුතු නගර ජීවිතයේ ප්‍රධාන අංග බවට පත්විය.

කාලයත් සමඟ කෝපි ව්‍යාපාරයෙන් උපයාගත් ධනය හා ඒ සමඟ පැමිණි නව පහසුකම් නුවරඑළියේ ස්වභාවය වෙනස් කළේය. තේ කර්මාන්තයේ ආරම්භය වන විට, එය බ්‍රිතාන්‍ය සංස්කෘතික ලක්ෂණ දැඩි ලෙස පිළිබිඹු කළ, සම්භාවනීය කඳුකර නගරයක් බවට පත්ව තිබිණි.

එහෙත්, කෝපි වගාව සඳහා නුවරඑළිය පිහිටා තිබූ උස අධික වූ අතර, නිරන්තර වර්ෂාවද අස්වැන්නට හානි කළේය. 1870 හා 1880 දශකවල ඇති වූ කෝපි වගාවේ මහා විනාශයත් සමඟ වතු හිමියන් තේ වගාව වෙත යොමුවීමෙන් නුවරඑළියට තම සැබෑ කෘෂිකාර්මික අනන්‍යතාවය හිමි විය.

පෙර සිදුකර තිබූ අත්හදා බැලීම් මගින්ද නුවරඑළියේ තේ සාර්ථකව වගා කළ හැකි බව තහවුරු වී තිබූ අතර, පසුව මෙම කලාපයේ දේශගුණය තේ වගාව සඳහා අතිශය සුදුසු බව පැහැදිලි විය.

1875 වන විට පළමු කුඩා තේ වතු සාර්ථකව වර්ධනය වෙමින් පැවති අතර, සියවස අවසන් වන විට නුවරඑළිය සිලෝන් තේහි ප්‍රධාන වගා කලාපයක් බවට පත්විය. එතැන් සිට අද දක්වාම, ලොව විශිෂ්ටතම තේ නිෂ්පාදනය කරන කලාපයක් ලෙස නුවරඑළිය සතු කීර්තිනාමය අඛණ්ඩව පවතී.

This site is registered on wpml.org as a development site. Switch to a production site key to remove this banner.